ජේ එච් ජයවර්ධන නම් වූ නළුවා නොහොත් සැබෑ රුකඩයා
බටහිර සිනමාවේ මහා සිනමා කරුවෙකු වන ඇල්ෆර්ඩ් හිච්කොක් වරක් ප්‍රකාශ කලේ නළු නිලියන් යනු පන ඇති රුකඩ බවත් එම රුකඩ නිර්මාණාත්මකව හැසිරවීම සිනමාකරුවන්ගේ කාර්යභාරය බවත්ය. එහෙත් අපේ නළු නිලියන් අධි නිශ්චය වී, රුකඩ රාමුවෙන් එලියට පැමිණ වීර සෙයියාවෙන් අභිෂේක ලබනවා පමණක් නොවේ මේ වීරකම් උඩ දමා පාර්ලිමේන්තුවට පවා ගොස් ව්‍යාවස්ථාධායක වැඩ වලට පවා හොට දමයි.
මේ අතර රුකඩයාගේ කාර්‍යභාරය අටුවා ටීකා නැතුව නිවැරදිව සිදුකල සැබෑ නළුවෙක් පසුගියදා ජිවිතයෙන් සමුගත්තා. ඔහු ජේ එච් ජයවර්ධන. මියයන විටත් සැබෑ රුකඩයෙක් යන අයිඩෙන්ටිය පමණක් ඔහුට තිබුන නිසා ඔහුගේ මරණය මාධ්‍ය කාලගෝට්ටියක් බවට පත්වුණේ නැත. මාධ්‍ය කිහිපයක පලවූ පුංචි මුද්ධර ප්‍රමාණයේ හුදකලා පුවත් කිහිපයකින් අනතුරුව අපි ජේ එච්ව වළලා දමා අත්දෙක පිහිදා ගන්නවා.
සිංහල සිනමාවේ චිත්‍රපටි විසිහයකට ජේ එච් දායක වෙනවා. මේ චිත්‍රපටි නාමාවලිය හරිම රසවත්. ඔහු කැමරාව ඉස්සරහ ඉස්සල්ලම රුකඩයෙක් බවට පත්වෙන්නේ 1953 වසරේ එදා රැ චිත්‍රපටියෙන්. ඉන්පසුව ධර්මසිරි බණ්ඩාරනායකගේ, පතිරාජගේ, එච් ඩී ප්‍රෙමරත්නගේ චිත්‍රපටිවල නිත්‍ය සාමාජිකයෙක් වෙනව.
ජේ එච් යනු නළුවෙක් නොහොත් රුකඩයෙක් නිසා ඔහුට අනන්‍යතා අර්බුද අදාළ වෙන්නේ නැ ඒක නිසා ඇගේ වේරය, ජුරිය ඔබයි වගේ චිත්‍රපට වලත් ඔහු රගපානව,
ආර් ආර් සමරකෝන් තමයි ජේ එච්ව නිවැරදිවම අල්ලගන්නේ. එහෙමත් නැතිනම් ආර් ආර්ගේ කැළණි පාලම වේදිකා නාටයේ මැම්බර් මහත්ය ගේ චරිතය නිසා ජේ එච්ට නළුවෙක් කියන සිවිල් අයිඩෙන්ටිය හම්බවෙනවා. ජේ එච්ට තියන අමුතු උච්චාරණ විලාශය නිසා ඔහු විචාරකයින් ඔහුව හදුන්වන්නේ අධි තාත්වික රංගන ශිල්පියෙක් විදිහට. ඒත් ජේ එච් ගේ මිතුරන් නම් කියා සිටින්නේ ඔහුගේ මේ අධි තාත්වික රංගනය සහ ඔහුගේ සැබෑ ජිවන විලාසය අතර ඇත්තේ ඉතා අල්ප වෙනසක් බවයි.
ජේ එච්ගේ අධි තාක්ෂණික රංගන විලාසය සහ කටහඩට නිල නොවන පේටන්ට් බලපත්‍රයක් මේ කාලයේ ඔහුට ලැබෙනවා. ඒත ජේ එච් යනු කැමරා ඉදිරිපිට රුකඩයෙක් වී අඩියක් පුඩියක් ගසා ගෙදර යන සරල ප්‍රාණියෙක් නිසා ඔහුව වෙළද ප්‍රචාරණ ආයතන වලට ක්‍රමානුකුලව විකිනෙන්නේ නැත. ඔහුගේ PEEK කාලයේදී ඔහු රගපාන චරිත ප්‍රති නිෂ්පාදනය කොට වෙළෙන්දන් බඩු විකුණන අතර ඒ නිසා ඔහුගේ සාක්කුවට එබෙන අමතර මොණරු කොළ ඇසුරු සැනින් මිතුරන් අතර දියවෙන මධු සාද බවට පත්වේ.
අමරබන්දු රුපසින්හලා ගවන්විදුලියේ රජ කරන කාලයේ ජේ එච් ගුවන්විදුලියට ගොඩවදිනව. ඊට පස්සේ මොණර තැන්න ගුවන් විදුලි නාටයේ රජ්ජුරුවෝ චරිතයට හඩ කවනවා. ඊට පස්සේ ජේ එච්ගේ අමුතු උච්චාරණය ගම දනවුවල ආයෙත් රෑවූ පිලිරවූ දෙන්න පටන් ගන්නව. මේ අසුව දශකයේ.. එත් ජේ ආර් ගේ දේශපාලනය විසින් හදිස්සියේම අමරබන්දුව ගුවන්විදුලියෙන් එලියට දැම්මම ජේ එච් ගේ ගුවන්විදුලියේ රජකම නැතිවෙලා යනව.
නිහාල් සිල්වා වගේ අය ප්‍රේමදාස දේශපාලනයත් එක්ක ඒ කාලයේ නාට්‍ය කලාවේ අයිතිකාරයෝ වෙනව. එතකොට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්නේ සුගතපාල ද සිල්වා වගේ අය. සුගත් ලා, රන්ජිත් ධර්මකීර්ති ලා ජේ එච් ගේ මීවිත - හිත මිත්‍ර සගයන්. එත් සුගත් ලා කලාවෙන් දේශපාලනය කරන කොට ජේ එච් ලා උදාසීනව ඉන්නව . එහෙමත් නැතිනම් වේලාසනින් ගෙදර ගොස් නිදිය ගන්නව. ඒ තමයි ජේ එච්.
එක දවසක ජේ එච් ගේ ගෝලයෙක් වගේ යාළුවෙක් රතුපාට දේශපාලනයේ පන්ති පහටම සාභාගී වෙලා ඔලුගෙඩිය පුරවාගෙන ජේ එච් හම්බ වෙන්න එනව. ගෝල යාලුවා තෙල බෙදන්න පටන්ගන්නවා. පිළිතුරු විදිහට ශුද්ධ සිංහල වචන අහුරක් ජේ එච් ගෙන් හම්බ වෙනව.
'මං හොද ලිබරල් මිනිහෙක් බං ' ජේ එච් විහිළුවට වගේ කියනව.
ඒත් ඒ විහිළු අස්සේ සුන්දර, නොකිලිටි මිනිහෙක් ඉන්නවා. ඒ තමයි ජේ එච්. හරිම නිදහස් ඇසකින් ලෝකය දකින......
ඒත් ඒ නිදහස් ඇස වසර 2007 දී නොපෙනී යනව. එහෙමත් නැතිනම් ග්ලුකෝමා රෝගය හැදිල ජේ එච් ගේ ඇස් දෙකම අන්ධ වෙනව. ඒ එක්කම මේ දක්ෂ රුකඩයා රගහලෙන් බැහැල යනව. එතැන් සිට ඔහු ලෝකය දකින්නේ තම දයාබර බිරිද සහ දරුවන්ගේ ඇස් වලින්.
ජේ එච් ගේ සමකාලීනයින් බොහෝ දෙනෙක් මේ වෙනකොට ජිවිතයෙන් සමුඅරගෙන. එහෙමත් නැතිනම් ජේ එච් දෑස පියාගෙන ඉන්න කාලේදී වීරයෝ වෙලා එක එක අයිඩෙන්ටි වලට මාරු වෙලා. එහෙමත් නැතිනම් විවිධ කදවුරු වල දේශපාලකයින්ගේ දෑත ශක්තිමත් කරන්න ගොස් හිකනල්ලු වගේ දැපනේ වැටිලා. මේ සියළු විසුක දස්සනයන් නොබලන්නට දැස පියාගෙන ඉන්න තරම් එක අතකට ජේ එච් වාසනාවන්තයි.
ඔහු දෑස පියාගෙන ඉන්න අවදියේදී ඇස් අරගෙන සිටි මිනිසුන් බොහෝ දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නව. වේදිකාවෙන් බැස යන්න සුදානම් වෙලා ඉන්න සැදෑ සමයේ කලාකරුවන් කල්ලිවාදින් හෝ දේශපාලකයින් විසින් උපහාර උත්සව නාමයෙන් වේදිකා මතට දක්කාගෙන විත් කයිවාරු ගසා අනතුරුව අදෝ මුකයට පයින් දෙකක් ඇන පැත්තකට කරවීමේ 'පාපයට' හසු නොවීමට ඇස් වසාගෙන සිටිය ජේ එච් ට පුළුවන් උනා.
දක්ෂ රුකඩයෙක් ලෙස කැමරාව ඉස්සරහට ආපු ජේ එච් ජිවිතයෙන් සමුගෙන යනවිට තම අයිඩෙන්ටිය විතරක් නෙමෙයි ආත්මය පවා රැකගෙන ආපසු ගියා...
ජේ එච් ! ජිවිතයෙන් පැරදුනත් ඔබ දිනුම්!
( මෙම සටහන සැකසීමේදී අරුණ පෙරේරා මහතාගෙන් ලැබුණු මුලාශ්‍ර තොරතුරු වලට ස්තුතියි)
සරද සමරසිංහ
samarasinghe_sarada@yahoo.com