ජේ එච් ජයවර්ධන නම් වූ නළුවා නොහොත් සැබෑ රුකඩයා
බටහිර සිනමාවේ මහා සිනමා කරුවෙකු වන ඇල්ෆර්ඩ් හිච්කොක් වරක් ප්‍රකාශ කලේ නළු නිලියන් යනු පන ඇති රුකඩ බවත් එම රුකඩ නිර්මාණාත්මකව හැසිරවීම සිනමාකරුවන්ගේ කාර්යභාරය බවත්ය. එහෙත් අපේ නළු නිලියන් අධි නිශ්චය වී, රුකඩ රාමුවෙන් එලියට පැමිණ වීර සෙයියාවෙන් අභිෂේක ලබනවා පමණක් නොවේ මේ වීරකම් උඩ දමා පාර්ලිමේන්තුවට පවා ගොස් ව්‍යාවස්ථාධායක වැඩ වලට පවා හොට දමයි.
මේ අතර රුකඩයාගේ කාර්‍යභාරය අටුවා ටීකා නැතුව නිවැරදිව සිදුකල සැබෑ නළුවෙක් පසුගියදා ජිවිතයෙන් සමුගත්තා. ඔහු ජේ එච් ජයවර්ධන. මියයන විටත් සැබෑ රුකඩයෙක් යන අයිඩෙන්ටිය පමණක් ඔහුට තිබුන නිසා ඔහුගේ මරණය මාධ්‍ය කාලගෝට්ටියක් බවට පත්වුණේ නැත. මාධ්‍ය කිහිපයක පලවූ පුංචි මුද්ධර ප්‍රමාණයේ හුදකලා පුවත් කිහිපයකින් අනතුරුව අපි ජේ එච්ව වළලා දමා අත්දෙක පිහිදා ගන්නවා.
සිංහල සිනමාවේ චිත්‍රපටි විසිහයකට ජේ එච් දායක වෙනවා. මේ චිත්‍රපටි නාමාවලිය හරිම රසවත්. ඔහු කැමරාව ඉස්සරහ ඉස්සල්ලම රුකඩයෙක් බවට පත්වෙන්නේ 1953 වසරේ එදා රැ චිත්‍රපටියෙන්. ඉන්පසුව ධර්මසිරි බණ්ඩාරනායකගේ, පතිරාජගේ, එච් ඩී ප්‍රෙමරත්නගේ චිත්‍රපටිවල නිත්‍ය සාමාජිකයෙක් වෙනව.
ජේ එච් යනු නළුවෙක් නොහොත් රුකඩයෙක් නිසා ඔහුට අනන්‍යතා අර්බුද අදාළ වෙන්නේ නැ ඒක නිසා ඇගේ වේරය, ජුරිය ඔබයි වගේ චිත්‍රපට වලත් ඔහු රගපානව,
ආර් ආර් සමරකෝන් තමයි ජේ එච්ව නිවැරදිවම අල්ලගන්නේ. එහෙමත් නැතිනම් ආර් ආර්ගේ කැළණි පාලම වේදිකා නාටයේ මැම්බර් මහත්ය ගේ චරිතය නිසා ජේ එච්ට නළුවෙක් කියන සිවිල් අයිඩෙන්ටිය හම්බවෙනවා. ජේ එච්ට තියන අමුතු උච්චාරණ විලාශය නිසා ඔහු විචාරකයින් ඔහුව හදුන්වන්නේ අධි තාත්වික රංගන ශිල්පියෙක් විදිහට. ඒත් ජේ එච් ගේ මිතුරන් නම් කියා සිටින්නේ ඔහුගේ මේ අධි තාත්වික රංගනය සහ ඔහුගේ සැබෑ ජිවන විලාසය අතර ඇත්තේ ඉතා අල්ප වෙනසක් බවයි.
ජේ එච්ගේ අධි තාක්ෂණික රංගන විලාසය සහ කටහඩට නිල නොවන පේටන්ට් බලපත්‍රයක් මේ කාලයේ ඔහුට ලැබෙනවා. ඒත ජේ එච් යනු කැමරා ඉදිරිපිට රුකඩයෙක් වී අඩියක් පුඩියක් ගසා ගෙදර යන සරල ප්‍රාණියෙක් නිසා ඔහුව වෙළද ප්‍රචාරණ ආයතන වලට ක්‍රමානුකුලව විකිනෙන්නේ නැත. ඔහුගේ PEEK කාලයේදී ඔහු රගපාන චරිත ප්‍රති නිෂ්පාදනය කොට වෙළෙන්දන් බඩු විකුණන අතර ඒ නිසා ඔහුගේ සාක්කුවට එබෙන අමතර මොණරු කොළ ඇසුරු සැනින් මිතුරන් අතර දියවෙන මධු සාද බවට පත්වේ.
අමරබන්දු රුපසින්හලා ගවන්විදුලියේ රජ කරන කාලයේ ජේ එච් ගුවන්විදුලියට ගොඩවදිනව. ඊට පස්සේ මොණර තැන්න ගුවන් විදුලි නාටයේ රජ්ජුරුවෝ චරිතයට හඩ කවනවා. ඊට පස්සේ ජේ එච්ගේ අමුතු උච්චාරණය ගම දනවුවල ආයෙත් රෑවූ පිලිරවූ දෙන්න පටන් ගන්නව. මේ අසුව දශකයේ.. එත් ජේ ආර් ගේ දේශපාලනය විසින් හදිස්සියේම අමරබන්දුව ගුවන්විදුලියෙන් එලියට දැම්මම ජේ එච් ගේ ගුවන්විදුලියේ රජකම නැතිවෙලා යනව.
නිහාල් සිල්වා වගේ අය ප්‍රේමදාස දේශපාලනයත් එක්ක ඒ කාලයේ නාට්‍ය කලාවේ අයිතිකාරයෝ වෙනව. එතකොට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්නේ සුගතපාල ද සිල්වා වගේ අය. සුගත් ලා, රන්ජිත් ධර්මකීර්ති ලා ජේ එච් ගේ මීවිත - හිත මිත්‍ර සගයන්. එත් සුගත් ලා කලාවෙන් දේශපාලනය කරන කොට ජේ එච් ලා උදාසීනව ඉන්නව . එහෙමත් නැතිනම් වේලාසනින් ගෙදර ගොස් නිදිය ගන්නව. ඒ තමයි ජේ එච්.
එක දවසක ජේ එච් ගේ ගෝලයෙක් වගේ යාළුවෙක් රතුපාට දේශපාලනයේ පන්ති පහටම සාභාගී වෙලා ඔලුගෙඩිය පුරවාගෙන ජේ එච් හම්බ වෙන්න එනව. ගෝල යාලුවා තෙල බෙදන්න පටන්ගන්නවා. පිළිතුරු විදිහට ශුද්ධ සිංහල වචන අහුරක් ජේ එච් ගෙන් හම්බ වෙනව.
'මං හොද ලිබරල් මිනිහෙක් බං ' ජේ එච් විහිළුවට වගේ කියනව.
ඒත් ඒ විහිළු අස්සේ සුන්දර, නොකිලිටි මිනිහෙක් ඉන්නවා. ඒ තමයි ජේ එච්. හරිම නිදහස් ඇසකින් ලෝකය දකින......
ඒත් ඒ නිදහස් ඇස වසර 2007 දී නොපෙනී යනව. එහෙමත් නැතිනම් ග්ලුකෝමා රෝගය හැදිල ජේ එච් ගේ ඇස් දෙකම අන්ධ වෙනව. ඒ එක්කම මේ දක්ෂ රුකඩයා රගහලෙන් බැහැල යනව. එතැන් සිට ඔහු ලෝකය දකින්නේ තම දයාබර බිරිද සහ දරුවන්ගේ ඇස් වලින්.
ජේ එච් ගේ සමකාලීනයින් බොහෝ දෙනෙක් මේ වෙනකොට ජිවිතයෙන් සමුඅරගෙන. එහෙමත් නැතිනම් ජේ එච් දෑස පියාගෙන ඉන්න කාලේදී වීරයෝ වෙලා එක එක අයිඩෙන්ටි වලට මාරු වෙලා. එහෙමත් නැතිනම් විවිධ කදවුරු වල දේශපාලකයින්ගේ දෑත ශක්තිමත් කරන්න ගොස් හිකනල්ලු වගේ දැපනේ වැටිලා. මේ සියළු විසුක දස්සනයන් නොබලන්නට දැස පියාගෙන ඉන්න තරම් එක අතකට ජේ එච් වාසනාවන්තයි.
ඔහු දෑස පියාගෙන ඉන්න අවදියේදී ඇස් අරගෙන සිටි මිනිසුන් බොහෝ දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නව. වේදිකාවෙන් බැස යන්න සුදානම් වෙලා ඉන්න සැදෑ සමයේ කලාකරුවන් කල්ලිවාදින් හෝ දේශපාලකයින් විසින් උපහාර උත්සව නාමයෙන් වේදිකා මතට දක්කාගෙන විත් කයිවාරු ගසා අනතුරුව අදෝ මුකයට පයින් දෙකක් ඇන පැත්තකට කරවීමේ 'පාපයට' හසු නොවීමට ඇස් වසාගෙන සිටිය ජේ එච් ට පුළුවන් උනා.
දක්ෂ රුකඩයෙක් ලෙස කැමරාව ඉස්සරහට ආපු ජේ එච් ජිවිතයෙන් සමුගෙන යනවිට තම අයිඩෙන්ටිය විතරක් නෙමෙයි ආත්මය පවා රැකගෙන ආපසු ගියා...
ජේ එච් ! ජිවිතයෙන් පැරදුනත් ඔබ දිනුම්!
( මෙම සටහන සැකසීමේදී අරුණ පෙරේරා මහතාගෙන් ලැබුණු මුලාශ්‍ර තොරතුරු වලට ස්තුතියි)
සරද සමරසිංහ
samarasinghe_sarada@yahoo.com
හැමදේම සිදුවෙන්නේ නිහඩ පැයේදී, නිහඩව ඉන්න බහුතරය කථාකිරීමට පටන්ගත් පැයේදීය
Sunday, 7 June 2015
Saturday, 30 May 2015
Sunday, 8 February 2015
කලින් පැන්න අය යහ වීමේ කලාව
මෙතෙක් කලක් කට්ටන්ඩියන්, හුනියම්කාරයන්, ප්‍රේතයන් හා කුම්භාණ්ඩයන් පෙරටුකරගත් ගෝත්‍රික මිනිසුන් පාලනය කල ලංකාව හරහා මේ දිනවල හදිස්සියේම යහපාලන සීතල සුළගක් හමා යමින් සිටී. යහපාලනයක් සදහා අනිවාර්යයෙන්ම යහපත් මිනිසුන් අවශ්‍යය. මෙත්‍රී ආණ්ඩුවේ යහපත් මිනිසුන් සොයාගැනීමේ ලිට්මස් පරික්ෂාව බැලුබැල්මට මෙසේය
මරාගේ නැවෙන් මෙත්‍රී නැවට ප්‍රථමයෙන්ම පැන්න මිනිසුන් ඉතා යහපත් මිනිසුන්ය
පරක්කු වී පැන්න මිනිසුන් තරමක් යහපත් මිනිසුන්ය
තවමත් මරා ලග ඉන්නේ ඉතා නරක මිනිසුන්ය
මෙත්‍රී ටත් ඉස්සර මරාට එරෙහිව රටේ යහපාලනය කථාකළ මිනිසුන් යහපත් මිනිසුන් උනත් ඔවුන් සමග ඩීල් කරන්නේ දැනට හදුනාගෙන තියෙන ඉතා යහපත් මිනිසුන්ගේ ඕනෑ එපාකම් වලින් පසුවයි
විකල්ප ගැන කතාකරන්නන් මරාටත් වඩා අයහපත් මිනිස්සුන්ය
මෙම සමීකරණයට අනුව ඊයේ පෙරේදා වෙනකම් මරාගේ කකුල් මිරිකමින් සිටියද සුලන් හමන අත හොදින් අධ්‍යනය කොට මරාගේ නැවෙන් මෙත්‍රී නැවට කලටම පැන්න සෝමරත්න දිසානායකට යහපත් මිනිසා මුද්‍රාව ලැබුණු අතර පසුව ඔහු රුපවාහිනියේ සභාපති කම දිනාගැනීමට සමත් විය.
ඊයේ පෙරේදා යහපත් මිනිසුන් ලෙස රූපාන්තරණය වීමෙන් අනතුරුව රටේ යහපාලනය ඇතිකිරීමට සරම් කැහැපොට ගහගෙන සිටින මිනිසුන්ගේ list එක බොහෝ දිගය. යහපාලන අපේක්ෂාව පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේ යුද්දය අභිමුව ටික කලක් කල් දමලාද? රාජිත සේනාරත්න මහතාට අනුව මහා පරිමාන දුෂකයින් දඩු කදේ ගහන අතර කුඩා පරිමාණ දුෂකයින් දෙස නොපෙනෙන ඇස් වලින් බලාගෙන සිටියි. මරාගේ පවුල හැර අනෙක් සියලුම ජහමනයා යහපත් මිනිසුන් බව කිසියම් යහපාලන ඇජේන්ඩා එකේ අයිතිකාරයෙක් ප්‍රකාශයට පත්කරොත් එය පුදුමයක් නොවේ.
අලුත් ආණ්ඩුවේ යහපාලන road show එක ඉතා දිගුය. ඒ සදහා අපක්ෂපාති, පිරිසිදු නිලධාරීන්ගේ හිගයක්ද ඇති බව ඇත්තකි. ව්‍යවස්ථාදායක කොමිෂන් සභා ඇතිකිරීම සහ ඒ තුලින් රටේ වැදගත් තනතුරු සදහා නම් යෝජනා කිරීම වැනි දිගු න්‍යාය පත්‍රයක් මෙම ගමනට අයත්ය. මෙවැනි වැඩක් සදහා අවශ්‍ය ලොකු දැක්මක් සහිත අපක්ෂපාති මිනිසුන් සොයාගන්නේ කෙසේද ?
ඉතා හැගුම්බර වචන සහිත, ලොකු ලොකු වැඩ කිඩ උඩ දමමින් පිහිටවූ ආණ්ඩු මෑත අතීතයේ සුලබ දසුනකි. අනුවේ දශකයේ අග භාගයේ චන්ද්‍රිකා එවැනි ආණ්ඩුවක් පිහිටෙවුවේ ධනවාදයට මානුෂික මුහුණුවරක් යෝජනා කරමිනි. ඉන්පසු හදිස්සියේ රනිල් ද ආණ්ඩුවක් පිහිටෙවුවේ රටේ ආර්ථිකය ධන කිරීම සදහය. ඉන්පසු මරා පැමිණියේය. මෙම හැම ආණ්ඩුවක්ම අල කරන ලද්දේ ඒ වටා හදිස්සියේ රොක්වෙන මිනිසුන් විසිනි. අවසාන විග්‍රහයේදී විවිද නම්වලින්, පාටවලින් ආණ්ඩු පිහිටවෙන අතර කාලයාගේ අවෑමෙන් එම ආණ්ඩුවල තීරණාත්මක බලය එකම බුර්ෂුවා පන්නයේ දේශපාලක/ ව්‍යාපාරික/ නිලධාරී රංචුවක් වටා කරකැවී නතරවීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි.
අලුත් ආණ්ඩුවද මේ ගොඩටම දැමීමට තවමත් කල් වැඩිය. එහෙත් මාරා විසින් විසුක දස්සන දමමින් සිටින අවදියේ, බොහෝ අය ඇස් කන් වසාගනිමින් ඔහුට පවන් සලමින් සිටින අවදියේ සුළි සුළගක් මැද අන්දකාරයේ ඉතා ආයාසයෙන් පළමු යහපාලන පහන්වැට දල්වපු මිනිසුන්ට අයිනකට වී බලාසිටීමට සිදුවීම හෝ මෙත්‍රී නැවේ ඉඩ නැතිවීම අහම්බයක්ද?
ගෝත්‍රික වාදී කට්ටන්ඩියන් හෝ වනසතුන් රට පාලනය කරනවට වඩා මිනිසුන් විසින් රට පාලනය කිරීම යහපත්ය. එහෙත් ආණ්ඩු හදන ගමන් මිනිසුන් හැදිමටත් පුරුදු විය යුතුය. එවිට එම ආණ්ඩු වලට යහපාලන දීර්ඝ ආයුෂ ලැබෙනු ඇත.
සරද සමරසිංහ
යහපාලනයේ ලිට්මස් පරික්ෂාව කුමාර් මහත්තයාද ?
යහපාලන ආණ්ඩුව මේ දවස්වල බොහෝ ව්‍යාපෘති ගොඩක කාර්‍යබහුල වී සිටියි. ලංකාවේ පෙකණිවැල චීනයෙන් ගලවා ඇමරිකාවේ කදවුරට දැඩිව සවිකිරීමේ ව්‍යාපෘතියේ සිට දුෂණයේ ෆයිල් මතින් මීලග මැතිවරණයට අවශ්‍ය භුමිය සකස්කරගැනීමේ මාධ්‍ය සංදර්ශන මෙන්ම අවස්ථාවාදී හා පුත්ගලවාදී ව්‍යාපෘති මේ අතර වේ. මේවා අතර අලුත්ම ව්‍යාපෘතිය වන්නේ කුමාර් ගුණරත්න මහතාව යලිත් පිටුවහල් කොට අත්දෙක පිහදාගැනීමේ ව්‍යාපෘතියයි.
මෙත්‍රී ආණ්ඩුවේ සිටින්නේ ඊයේ පෙරේදා ඉපදුනු පුංචි බබාලා නොවේ. මීට කලින් මාරාගේ ආණ්ඩුවේ නම් සිටියේ පොලවේ පස් කා ජිවත්වන, පොලවේ ඇතුලේ මිස මහපොළවේ සිදුවන කිසිවක් ගැන සංවේදී නැති භුමි පුත්‍රයන් පිරිසකි. මේ භුමි පුත්‍රයන්ගේ රාජ උදහසට පත්වුණු සහ පත්වීමට නියමිතව සිටි මිනිසුන් සැගවී පලාගිය බව රහසක් නොවේ. පසුගිය කාලයේ දේශපාලන හේතු නිසා රටෙන් පිටුවහල් වීමට හෝ පිටුවහල් කිරීමට මුහුණදුන් මිනිසුන් හා ගැහැනුන් යලිත් සියරටට පැමිණ දේශපාලනය කිරීම හෝ තමන් කැමති දෙයක් කිරීම යහ පාලනයේ නිම් වළලු පුළුල් වීමක් නොවේද?
කුමාර් මහතා පලායනකොට බැසිල් රාජපක්ෂ මෙන් ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය පාවිච්චි කිරීමට "අමතක" උනා වියහැක. සෝමවංශ අමරසිංහ සහෝදරයාට මෙන් පලායාම නියමාකාරයෙන් සංවිධානය කරගැනීමට "ඇමති නෑයන් " නොසිටියා විය හැකිය. එනිසා කෙසේ හෝ රටින් පලාගොස් ජීවිතය බේරාගත් කුමාර් ගුණරත්නම් නම් ශ්‍රී ලංකාවේ පුරවැසියා යලිත් සියරටට පැමිණ සිටී. දැන් ඔහු යහපාලන ආන්ඩුවෙ ගැබුර පරික්ෂා කරමින් සිටියි. යහපාලනය යනු ප්‍රතිසංස්කරනවාදී පාලන ක්‍රියාවලියක්ද නැතහොත් නිශ්චිත මිනිසුන් පිරිසකගේ තවත් එක දේශපාලන උපක්‍රමයක්ද යන්න අනාගතය විසින් තීරණය කරනු ලබන්නේ මෙවැනි හුදකලා සිද්දි මගිනි.
වාසනාවකට හෝ අවාසනාවකට ඉතිහාසය ගමන් කරන්නේ ඉරක් දිගේ කෙලින් නොව රවුමක් දිගේය. ඉස්සර මෙන් නොව දැන් මෙම රවුමේ පරිදිය කුඩාවී ඉතිහාසය ඉතා ඉක්මනින් අප ඉදිරියේ පොලා පනියි. නොදුරු අතීතයේ ජේවීපී සහෝදරයින් චන්ද්‍රිකා සමග දීග කද්දී හා මරා සමග භුමියේ පස් කද්දී, දැන් යහපාලනයේ නියමුවෙක් වූ රාජිත සේනාරත්න විපක්ෂයේ සිට සතිපතා හඩ නැගුවේ ආගමන නිගමන නීති උල්ලංගනය කරමින් 89 භීෂණ යුගයේ රටින් පිටවු සෝමවංශ අමරසිංහ අත්අඩංගුවට ගත යුතු බවයි. එහෙත් ජේවීපී සහෝදරවරු එදා ආණ්ඩුවේ න්‍යෂ්ටිය තුල සිටිය නිසා නීතිය නිහඩ විය. එහෙත් අද රාජිත මෙන්ම ජේවීපී සහෝදරවරුද යහපාලන නය්ෂ්ටිය තුල සිටින නිසා සෝමවංශට එරෙහි නීතිය නිහඩ වී කුමාර්ට එරෙහි නිතිය බලගැන්වී ඇත. මේ විකුනන්නේ දේශපාලන කුහකකම නොවේද?
කුමාර් ලංකාවේ සිටියොත් ඔහු කොටුවේ පාවෙන වෙලදපොලේ විසිතුරු බඩු කඩයක් දමාගෙන සිටින්නේ නැත. ඔහු ලංකාව තුල දේශපාලනය කිරීමට තීරණය කර ඇත. ඔහුගේ දේශපාලනය පාර්ලිමේන්තුව සුද්ධ පවිත්‍ර කරගෙන සමාජ ප්‍රතිසංස්කරණවාදය සහ විප්ලවවාදී හොල්මන් අතර දෝලනය වන ජනප්‍රියවාදී දේශපාලකයක් නොවේ. ඔහු විශ්වාශ කරන දේශපාලනය කිරීමට හා ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා සන්විධානය කිරීමේ අයිතිය නිසා බය වී සිටින්නේ කවුද?
සමාජයක් කෙතරම් පොහොසත් දැයි පරික්ෂා කිරීමට කදිම ලිට්මස් පරීක්ෂාවක් වන්නේ විවිධ සමාජ මතධාරීන්ට එම සමාජය තුල ඇති නිදහසයි. දෙමළාගේ අයිතිවාසිකම් ගැන කතාකිරීම පවා හතරවන තට්ටුවට දක්කාගෙන ගොස් ත්‍රස්‌තවාදී සයනයිට් කරල එල්ලු යුගයක් පසුකරගේන විත් අපේ සමාජය දැන් හැරවුම් ලක්ෂයකට පැමිණ තිබේ. යහපාලන පහන මුලින්ම දැල්වුවේ දේශපාලකයන් නොවේ. රට ගැන ආදරය කරන සිවිල් මිනිසුන් පිරිසක් යහපාලනය ගැන කථා කරත්දී බොහෝ දේශපාලකයන් සිටියේ තමාගේ අජෙන්ඩා වල හිරවෙලාය. පසුව දේශපාලකයින් ඊට පලග් වීම වෙනම කාරණයකි. සමාජය වෙනුවෙන් වෙහෙසෙන මිනිසෙකුගේ තම මවුබිම තුල ජීවත්වීමේ අයිතිය අහිමිවෙනකොට පක්ෂ අජෙන්ඩා නැති පළල් මිනිසුන්ට ඒ වෙනුවෙන් කථා කිරීමට යහපාලන ඉතිහාසය විසින් පවරා ඇති වගකීමක් නැත්ද?
ඉතිහාසය කැරකෙන්නේ රවුමක් වටය. හදිස්සියේ ඇතිවෙන දේශපාලන තත්ව තුල ආරක්ෂිත බංකර සාදාගැනීමට උත්සහ කරන මිනිස්සුන්ට කීමට ඇත්තේ ඔබ අත්දෙක පිසදාගෙන සුරක්ෂිතව නිදාගෙන සිටින විට "සැබෑ ඇත්ත" ඔබේ පිටුපස දොරට තට්ටුකරන දිනය කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි.
Subscribe to:
Posts (Atom)