මෙතෙක් කලක් කට්ටන්ඩියන්, හුනියම්කාරයන්, ප්‍රේතයන් හා කුම්භාණ්ඩයන් පෙරටුකරගත් ගෝත්‍රික මිනිසුන් පාලනය කල ලංකාව හරහා මේ දිනවල හදිස්සියේම යහපාලන සීතල සුළගක් හමා යමින් සිටී. යහපාලනයක් සදහා අනිවාර්යයෙන්ම යහපත් මිනිසුන් අවශ්‍යය. මෙත්‍රී ආණ්ඩුවේ යහපත් මිනිසුන් සොයාගැනීමේ ලිට්මස් පරික්ෂාව බැලුබැල්මට මෙසේය
මරාගේ නැවෙන් මෙත්‍රී නැවට ප්‍රථමයෙන්ම පැන්න මිනිසුන් ඉතා යහපත් මිනිසුන්ය
පරක්කු වී පැන්න මිනිසුන් තරමක් යහපත් මිනිසුන්ය
තවමත් මරා ලග ඉන්නේ ඉතා නරක මිනිසුන්ය
මෙත්‍රී ටත් ඉස්සර මරාට එරෙහිව රටේ යහපාලනය කථාකළ මිනිසුන් යහපත් මිනිසුන් උනත් ඔවුන් සමග ඩීල් කරන්නේ දැනට හදුනාගෙන තියෙන ඉතා යහපත් මිනිසුන්ගේ ඕනෑ එපාකම් වලින් පසුවයි
විකල්ප ගැන කතාකරන්නන් මරාටත් වඩා අයහපත් මිනිස්සුන්ය
මෙම සමීකරණයට අනුව ඊයේ පෙරේදා වෙනකම් මරාගේ කකුල් මිරිකමින් සිටියද සුලන් හමන අත හොදින් අධ්‍යනය කොට මරාගේ නැවෙන් මෙත්‍රී නැවට කලටම පැන්න සෝමරත්න දිසානායකට යහපත් මිනිසා මුද්‍රාව ලැබුණු අතර පසුව ඔහු රුපවාහිනියේ සභාපති කම දිනාගැනීමට සමත් විය.
ඊයේ පෙරේදා යහපත් මිනිසුන් ලෙස රූපාන්තරණය වීමෙන් අනතුරුව රටේ යහපාලනය ඇතිකිරීමට සරම් කැහැපොට ගහගෙන සිටින මිනිසුන්ගේ list එක බොහෝ දිගය. යහපාලන අපේක්ෂාව පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේ යුද්දය අභිමුව ටික කලක් කල් දමලාද? රාජිත සේනාරත්න මහතාට අනුව මහා පරිමාන දුෂකයින් දඩු කදේ ගහන අතර කුඩා පරිමාණ දුෂකයින් දෙස නොපෙනෙන ඇස් වලින් බලාගෙන සිටියි. මරාගේ පවුල හැර අනෙක් සියලුම ජහමනයා යහපත් මිනිසුන් බව කිසියම් යහපාලන ඇජේන්ඩා එකේ අයිතිකාරයෙක් ප්‍රකාශයට පත්කරොත් එය පුදුමයක් නොවේ.
අලුත් ආණ්ඩුවේ යහපාලන road show එක ඉතා දිගුය. ඒ සදහා අපක්ෂපාති, පිරිසිදු නිලධාරීන්ගේ හිගයක්ද ඇති බව ඇත්තකි. ව්‍යවස්ථාදායක කොමිෂන් සභා ඇතිකිරීම සහ ඒ තුලින් රටේ වැදගත් තනතුරු සදහා නම් යෝජනා කිරීම වැනි දිගු න්‍යාය පත්‍රයක් මෙම ගමනට අයත්ය. මෙවැනි වැඩක් සදහා අවශ්‍ය ලොකු දැක්මක් සහිත අපක්ෂපාති මිනිසුන් සොයාගන්නේ කෙසේද ?
ඉතා හැගුම්බර වචන සහිත, ලොකු ලොකු වැඩ කිඩ උඩ දමමින් පිහිටවූ ආණ්ඩු මෑත අතීතයේ සුලබ දසුනකි. අනුවේ දශකයේ අග භාගයේ චන්ද්‍රිකා එවැනි ආණ්ඩුවක් පිහිටෙවුවේ ධනවාදයට මානුෂික මුහුණුවරක් යෝජනා කරමිනි. ඉන්පසු හදිස්සියේ රනිල් ද ආණ්ඩුවක් පිහිටෙවුවේ රටේ ආර්ථිකය ධන කිරීම සදහය. ඉන්පසු මරා පැමිණියේය. මෙම හැම ආණ්ඩුවක්ම අල කරන ලද්දේ ඒ වටා හදිස්සියේ රොක්වෙන මිනිසුන් විසිනි. අවසාන විග්‍රහයේදී විවිද නම්වලින්, පාටවලින් ආණ්ඩු පිහිටවෙන අතර කාලයාගේ අවෑමෙන් එම ආණ්ඩුවල තීරණාත්මක බලය එකම බුර්ෂුවා පන්නයේ දේශපාලක/ ව්‍යාපාරික/ නිලධාරී රංචුවක් වටා කරකැවී නතරවීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි.
අලුත් ආණ්ඩුවද මේ ගොඩටම දැමීමට තවමත් කල් වැඩිය. එහෙත් මාරා විසින් විසුක දස්සන දමමින් සිටින අවදියේ, බොහෝ අය ඇස් කන් වසාගනිමින් ඔහුට පවන් සලමින් සිටින අවදියේ සුළි සුළගක් මැද අන්දකාරයේ ඉතා ආයාසයෙන් පළමු යහපාලන පහන්වැට දල්වපු මිනිසුන්ට අයිනකට වී බලාසිටීමට සිදුවීම හෝ මෙත්‍රී නැවේ ඉඩ නැතිවීම අහම්බයක්ද?
ගෝත්‍රික වාදී කට්ටන්ඩියන් හෝ වනසතුන් රට පාලනය කරනවට වඩා මිනිසුන් විසින් රට පාලනය කිරීම යහපත්ය. එහෙත් ආණ්ඩු හදන ගමන් මිනිසුන් හැදිමටත් පුරුදු විය යුතුය. එවිට එම ආණ්ඩු වලට යහපාලන දීර්ඝ ආයුෂ ලැබෙනු ඇත.
සරද සමරසිංහ